ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

17. සුපාරිචරිය වග්ග

8. දුස්සදායක ථෙරාපදානය

’’මම එකල්හි රම්‍යවූ තිවරා නගරයෙහි රාජ පුත්‍රයෙක් වීමි. පඬුරක් ලැබ උපශාන්තවූ බුදුරජුන්ට පිදීමි.

’’භාග්‍යවත් තෙම එම පඬුර (වස්ත්‍රය) ඉවසූහ. වස්ත්‍රය අතින් පිරිමැද්දහ. සිද්‍ධාර්ත්‍ථ භාග්‍යවත් තෙම එය ඉවසා අහසට නැගුනහ.

’’බුදුරජුන් (අහසෙහි) වඩින කල්හි වස්ත්‍රය පසු පසින් දුවයි. එහිදී බුදුරජතෙම අපගේ අග්‍ර පුද්ගලයන් වහන්සේයයි සිත පැහැදවිමි.

’’මින් සිවු අනූවන කපෙහි වූ එකල්හි යම් වස්ත්‍රයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. වස්ත්‍ර දානයාගේ මේ විපාකයයි.

’’මින් සත් සැටවන කපෙහිවූ එකල්හි මහත් බල ඇති මනුජෙන්‍ද්‍රවූ පරිශුද්ධ නම් සක්විති රජෙක් වීමි.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් දුස්සදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

දුස්සදායකත්ථෙරස්සාපදානං අට්ඨමං.