ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

14. සොභිත වග්ග

3. චන්දපූජක ථෙරාපදානය

’’එකල්හි මම චන්‍ද්‍රභාගා නදී තීරයෙහි කිඳුරෙක් වීමි. මම මල් අනුභව කරන්නේද, එසේම මල් හැඳින්නේද වෙමි.

’’නරශ්‍රේෂඨවූ, ලෝකජ්‍යෙෂ්ඨවූ, අත්‍ථදස්සී භාග්‍යවතුන් වහන්සේද අහසෙහි හංස රාජයෙකු මෙන් වනය කෙළවරින් නික්මුණු සේක. (එය දුටු මම මෙසේ කීමි.)

’’පුරුෂ ශ්‍රේෂඨයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. ඔබ ප්‍රසන්නවූ මුඛය හා නෙත් ඇත්තේ වෙහිය. අතිශයින් ප්‍රසන්නවූ මුහුණ හා ඉන්‍ද්‍රියයන් ඇත්තේ වෙහිය.

’’(ඉක්බිති) මනා නුවණැති, මහා ප්‍රඥාවත් සර්‍වඥ තෙම අහසින් බැස, සඟල සිව්ර අතුරා, පර්‍ය්‍යඞ්කයෙන් (එරමිණිය ගොතාගෙන) වැඩ හුන් සේක.

’’දියව ගිය සඳුන් ගෙන බුදුරජුන් වෙත ගියෙමි. පහන් සිත් ඇත්තේ සොම්නස්වූයේ සර්‍වඥයන් වහන්සේට පිදීමි.

’’ලෝකජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රේෂ්ඨවූ බුදුරජාණන් වහන්සේට අභිවාදනයකොට සතුට උපදවා උත්තර දිශාභිමුඛව ගියෙමි.

’’එක් දහස් අටසියවන කපෙහි යම් සඳුන් පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.

’’මින් එක් දහස් හාරසියවන කපෙහි නම්න් රෝහිත නම්වූ මහත් බල ඇති ඒ සක්විති රජවරු තිදෙනෙක් වූහ.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් චන්දපූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

චන්දනපූජනකත්ථෙරස්සාපදානං තතියං.

පළමුවෙනි බණවරයි.