ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

13. සෙරෙය්‍ය වග්ග

6. කුසුමාසනිය ථෙරාපදානය

’’මම එකල්හි නිඝණ්ඩු ශාස්ත්‍රය හා (කවීනට හිතවූ) කෙටුභය යන මේවා සහිත ලක්‍ෂණ ශාස්ත්‍රයෙහි ඉතිහාසයෙහිද දක්‍ෂවූ බමුණෙක් වීමි. වේදත්‍රයෙහි පරතෙරට ගියේ ශිෂ්‍යයන්ට මන්ත්‍ර කියවීමි.

’’එක තැනකට පමුණුවා, මම ඔවුනට පුදනු කැමැත්තේ වීමි. (ඒ සඳහා) මා විසින් උපුල් මිටි සතක් පුටුවක තබන ලදී.

’’එකල්හි නරශ්‍රේෂඨවූ විපස්සී බුදුරජ තෙම භික්‍ෂු සංඝයා විසින් පිරිවරණ ලදුයේ සියලු දිගුන් බබුළුවමින් වඩින සේක.

’’අසුනක් පණවා, ඒ මල් අතුරා, බුදුරජුන් පවරා සිය ගෙදොරට වැඩමවීමි.

’’ස්වකීය ගෘහයෙහි මා විසින් පිළියෙල කරන ලද යම් ආහාරයක් ඇද්ද, පහන් සිතැත්තේ එය මම සියතින්ම බුදුරජුන්හට දුනිමි.

’’එය වළඳා අවසන්වූ උන්වහන්සේට සුදුසු කළායි දැන මල් මිටක්ද දුනිමි. සර්‍වඥ තෙම අනුමෝදනා කොට උත්තරාභිමුඛව වැඩි සේක.

’’මින් සත් අනූවන කපෙහිවූ එකල්හි යම් පුෂ්ප දානයක් දුනිම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පුෂ්ප දානයෙහි මේ විපාකයයි.

’’මින් අනතුරු කපෙහි (අනූවන) සත්රුවනින් යුත් මහත් බල ඇති වරදස්සන නම් සක්විති රජෙක් විය.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් කුසුමාසනිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

කුසුමාසනියත්ථෙරස්සාපදානං ඡට්ඨං.