ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

13. සෙරෙය්‍ය වග්ග

5. සම්මුඛාත්‍ථවික ථෙරාපදානය

’’මම විපස්සී බුදුරජුන් ලොව පහළවන කල්හි (ඇතිවූ නිමිති බලා) මෙසේ පැවසීමි. (කෙසේද යත්) ජන සමූහයා (කෙළෙස් ගින්නෙන්) නිවමින් බුදුරජ තෙම ලොව පහළ වන්නේය.

’’යම් උතුමෙකු උපදින කල්හි දශ දහසක් ලෝදා කම්පාවේද දැන් ශාස්තෘවූ පසැස් ඇති භාග්‍යවත් තෙමේ දහම් දෙසයි.

’’යම් උතුමෙකු උපදින කල්හි මහත් ආලෝකය වීද දැන් ශාස්තෘවූ පසැස් ඇති භාග්‍යවත් තෙමේ දහම් දෙසයි.

’’යම් උතුමෙකු උපදින කල්හි ගංගාවෝ නොගැලුවාහුද දැන් ශාස්තෘවූ පසැස් ඇති භාග්‍යවත් තෙමේ දහම් දෙසයි.

’’යම් උතුමෙකු උපදින කල්හි අවීචියෙහි ගිනි නොඇවිලුනේද දැන් ශාස්තෘවූ පසැස් ඇති භාග්‍යවත් තෙමේ දහම් දෙසයි.

’’යම් උතුමෙකු උපදින කල්හි පක්‍ෂි සමූහයා (ඒ මේ අත) නොහැසිරුනේද දැන් ශාස්තෘවූ පසැස් ඇති භාග්‍යවත් තෙමේ දහම් දෙසයි.

’’යම් උතුමෙකු උපදින කල්හි වාතස්කන්‍ධය නොහමාද දැන් ශාස්තෘවූ පසැස් ඇති භාග්‍යවත් තෙමේ දහම් දෙසයි.

’’යම් උතුමෙකු උපදින කල්හි සියලු රත්නයෝ බැබලුනාහුද දැන් ශාස්තෘවූ පසැස් ඇති භාග්‍යවත් තෙමේ දහම් දෙසයි.

’’උපන් කෙණෙහිවූ සර්‍වඥ තෙමේ සියලු දිගුන් බැලීය. අභීත වචන පැවසීය. මෝ බුදුවරයන්ගේ ධර්‍මතායි.

’’යම් උතුමෙකු උපදින කල්හි සප්තවිධ වික්‍රමයෝ වූවාහුද දැන් ශාස්තෘවූ පසැස් ඇති භාග්‍යවත් තෙමේ දහම් දෙසයි.

’’මෙසේ ජනතාව සංවේගයට පමුණුවා ලෝක නායකයන් වහන්සේට ස්තූතිකොට සර්‍වඥයන් වහන්සේට වැඳ නැගෙණහිරට මුහුණ ලා ගියෙමි.

’’මින් එකුන් අනූවන කපෙහි යම් බුද්ධ සතූතියක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ ස්තූතියෙහි මේ විපාකයයි.

’’මින් අනූවන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති, සම්මුඛථවික නම් සක්විති රජෙක් විය.

’’මින් එකුන් අනූවන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති, පඨවීදුන්‍දුභි නම් සක්විති රජෙක් විය.

’’මින් අටාසූවන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති, ඔභාස නම් සක්විති රජෙක් විය.

’’මින් සතාසූවන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති, සරිතච්ඡේද නම් සක්විති රජෙක් විය.

’’මින් සාසූවන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති, අග්ගිනිබ්බාපණ නම් සක්විති රජෙක් විය.

’’මින් පස්අසූවන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති, සතිපච්ඡේදන නම් සක්විති රජෙක් විය.

’’මින් සූ අසූවන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති, වාත්‍යම නම් සක්විති රජෙක් විය.

’’මින් තෙයාසූවන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති, රතනපජ්ජල නම් සක්විති රජෙක් විය.

’’මින් දෙයාසූවන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති, පදවික්කමන නම් සක්විති රජෙක් විය.

’’මින් එක් අසූවන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති, විලෝකන නම් සක්විති රජෙක් විය.

’’මින් අසූවන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති, ගිරිසාර නම් සක්විති රජෙක් විය.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සම්මුඛාත්‍ථවික තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

සම්මුඛාථවිකත්ථෙරස්සාපදානං පඤ්චමං.