ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

12. මහා පරිවාර වග්ග

10. ජාති පූජක ථෙරාපදානය

’’විපස්සී බුදුරජාණන් වහන්සේ ලොව පහළවූ කල්හි සාගර පර්‍වත සහිතවූ පෘථිවිය කම්පණය විය.

’’නිමිත්ත පාඨකයෝ මෙසේ පැවසූහ. (කෙසේද යත්?) සියළු සත්ත්‍වයන් අතුරෙන් ශ්‍රේෂ්ඨවූ සර්වඥ තෙම ලොව පහළවන්නේය. ජන සමූහය සසර සයුරින් නගා සිටුවන්නේය.’’

’’මම නිමිත්ත පාඨකයන්ගේ වචනය අසා (උත්පත්තිය නිමිතිකොට පැවැත්වූ) ජාති පූජාව කෙළෙමි. (බුදුරජුන්ගේ උපත පිළිබඳව පවත්වන ලද) ජාති පූජාව යම්බඳු නම් එබඳු උතුම් පූජාවක් (ලෙව්හි) නැත.

’’කුසල් කොට සිත පැහැදවීමි. එහිදී (එම) ජාති පූජාව කොට කළුරිය කෙළේ වෙමි.

’’දිව්‍යවූ හෝ, මනුෂ්‍යවූ හෝ යම් යෝනියක උපදිම්ද, (සම්පත්තියෙන්) සියළු සත්ත්‍වයන් ඉක්මවමි. ජාති පූජාවෙහි මේ විපාකයයි.

’’මාගේ චිත්ත වාරයට අනුව පවතින්නාවූ කිරි මව්වරු මට උවටැන් කෙරෙත්. (ඒ ස්ත්‍රීහු) මා කෝප කිරීමට නොහැක්කෝ වෙත්. ජාති පූජාවෙහි මේ විපාකයයි.

’’මින් එක් අනූවන කපෙහිවූ එකල්හි යම් පින් කමක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ජාති පූජාවෙහි මේ විපාකයයි.

’’මින් තෙවන කපෙහි මහත් බල ඇති, ජනාධිපතිවූ, සුපාරිචරිය නම්වූ සූතිස් සක්විති රජ කෙනෙක් වූහ.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් ජාති පූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

ජාතිපූජකත්ථෙරස්සාපදානං දසමං.

මහාපරිවාරවග්ගො ද්වාදසමො.