ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
13. සෙරෙය්‍ය වග්ග
1. සෙරෙය්‍යක ථෙරාපදානය
’’වේද හදාරන්නාවූ, මන්ත්‍ර දරන්නාවූ, වේදත්‍රයෙහි පරතෙරෙට ගිය (මම) එලිමහන් තන්හි සිටියේ, වනයෙහි හැසිරෙන්නාවූ, සිංහයෙකු වැනිවූද, තැති නොගන්නාවූද, ව්‍යාඝ්‍රයෙකු වැනිවූද, ත්‍රිමදගලිත මාතඞ්ග කුලයෙහිවූ හස්ති රාජයෙකු වැනිවූද, මහර්ෂීවූ ලෝකනායක බුදුරජුන් දුටිමි.
’’මම කටුකරඬු මල් ගෙන අහසෙහි දැමීමි. බුදුරජුන්ගේ ආනුභාවයෙන් (එම මල්) හැම අතින් පිරිවරත්.
’’මහා වීරවූ ලෝකනායක සර්වඥයන් වහන්සේ අදිටන් කළ සේක. (එම අදිටන් බලයෙන්) නරශ්‍රේෂ්ඨයන් වහන්සේට හාත්පස මල් වියනක් සේ විසිරුනාහ.
’’ඉක්බිති නැටි උඩුකුරුවූ ඒ පුෂ්ප කඤ්චුකය (මල් වියන) සතියක් මුළුල්ලෙහි සෙවෙනියක් කොට යලි අතුරුදහන් විය.
’’විෂ්මය ජනකවූ, ලොමු දැහැගන්නාවූ එම ආශ්චර්‍ය්‍යය දැක සුගතවූ, ලෝක නායකවූ බුදුරජුන් කෙරෙහි සිත පැහැදවීමි.
’’එම චිත්ත ප්‍රසාදය කරණ කොට ගෙන කුශල මූලයෙන් මෙහෙයන ලද්දේ මම කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක නොඉපදුනෙමි.
’’එක් දහස් පන්සියවන කපෙහි මහත් බල ඇති චිත්කමාල නම් පස්විසි සක්විති රජ කෙනෙක් වූහ.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සෙරෙය්‍යක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
සෙරෙය්‍යකත්ථෙරස්සාපදානං පඨමං.