ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
13. සෙරෙය්‍ය වග්ග
2. පුප්ඵථූපිය ථෙරාපදානය
’’හිමවතට නුදුරු තන්හි කුක්කුට නම් පර්‍වතයක් විය. එම පර්වතය අතුරෙහි මන්ත්‍රයන්හි පරතෙරෙට ගිය බ්‍රාහ්මණයෙක් විය.
’’හැම කල්හි මා පන්දහසක් ශිෂ්‍යයෝ පිරිවරත්. ඔවුහු හැමට පළමු උදූසන නැගිටින සුළුවූ, මන්ත්‍රයන්හි විශාරදයෝද වූහ.
’’එම ශිෂ්‍යයෝ මෙසේ කීහ. බුදුරජ තෙම ලොව පහළවිය. උන්වහන්සේ අසූවක් ව්‍යඤ්ජන ඇති සේක. දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයක් ඇති සේක. එම ජිනෙන්‍ද්‍රයන් වහන්සේ හිරු මෙන් බබළන සේක. පින්වතුන් වහන්ස, අපගේ ඒ වචනය දැනගනු මැනව කියායි.
’’මන්ත්‍රයන්හි පරතෙරෙට ගිය බමුණු තෙමේ, ශිෂ්‍යයන්ගේ වචනය අසා, අසපුවෙන් නික්ම, ලොකනායකවූ මහා වීරයන් වහන්සේ යම් දිශාවක වැඩ වෙසෙන සේක් නම් ශිෂ්‍යයන්ගෙන් එම දිශාව විචාරයි. (කුමක් පිණිසද යත්?)
’’මම එම දිශාවටද අප්‍රති පුද්ගලවූ, පස් මරුන් දිනුවාවූ උන්වහන්සේටද නමස්කාර කරන්නෙමියි කියායි. ඉක්බිති ඔද වැඩි සිත් ඇත්තේ, සොම්නස්වූයේ, ඒ තථාගතයන් පිදීමි. (එසේ කොට ශිෂ්‍යයනට මෙසේ කීවෙමි.)
’’ශිෂ්‍යවරුනි, එව්. යන්නෙමු. ඒ තථාගතයන් දකින්නෙමු. ශාස්තෲන් වහන්සේගේ සිරිපා වැඳ, බුද්ධ ධර්‍මය අසන්නෙමුය කියායි.
’’නික්ම එක් දිනකින් මම රෝගී වීමි. රෝගයෙන් පෙළුනේ විසීම සඳහා ශාලාවකට ගියෙමි.
’’සියළු ශිෂ්‍යයන් රැස් කරවා තථාගතයන් කෙබඳුද? පරම බුද්‍ධිමත් ලෝකනාථයන් වහන්සේගේ ගුණ කෙබඳුදැයි ඔවුන්ගෙන් විචාළෙමි.
’’මා විසින් විචාරණ ලද ඔවුහු බුදුරජුන් දක්නා ලද අයුරින්ම විස්තර කළාහුය. මාගේ හමුයෙහි ඒ බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ මැනවින් (විස්තර) කොට දැක්වූහ.
’’මම ඔවුන්ගේ එම වචනය අසා සිත පැහැදවීමි. මම එහි මල්වලින් සෑයක් කොට කළුරිය කෙළේ වෙමි.
’’ඔවුහු මාගේ සිරුර දවා බුදුරජුන් සමීපයට ගියාහුය. ඇඳිලි බැඳ ශාස්තෲන් වහන්සේට අභිවාදනය කළාහුය.
’’මම සුගතවූ, මහර්ෂීවූ බුදුරජාණන් වහන්සේට මල්වලින් සෑයක් කොට කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක නොඉපදුනෙමි.
’’සතළිස් දහස්වන කපෙහි නම්න් අග්ගිසම නම් මහත් බල ඇති සොළොස් සක්විති රජ කෙනෙක් වූහ.
’’විසිදහස්වන කපෙහි ඝතාසන නම්වූ පෘථිවීශ්වර අටතිස් රජ කෙනෙක් වූහ.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුප්ඵථූපිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
පුප්ඵථූපියත්ථෙරස්සාපදානං දුතියං.