ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
13. සෙරෙය්‍ය වග්ග
3. පායාසදායක ථෙරාපදානය
’’මහ ලොහො තලියක කිරිබතක් සාදාගෙන දනක් දෙනු කැමැත්තාවූ මම එම පූජාව දෙතිස් මහ පුරිස් ලකුණින් යුත් ස්වර්‍ණ වර්‍ණවූ භික්‍ෂු සංඝයා විසින් පිරිවරණ ලද අරණින් නික්මුණාවූ (විපස්සී) බුදුරජුන් වෙත් පැමිණවීමි.
’’ලෝක ජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රේෂ්ඨවූ භාග්‍යවත් තෙමේ එකල්හි සුදු වතක් වැනිවූ අහසෙහි (මවන ලද) සක්මනට නැගුනේ වේ.
’’විෂ්මය ජනකවූ, ලොමු දැහැගන්වන එම ආශ්චර්‍ය්‍යය දැක එම ලොහොතලිය (පසෙක) තබා විපස්සී බුදුරජුන්හට අභිවාදනය කෙළෙමි.
’’දෙවියන් සහිත ලෝකයෙහි ඔබ සර්‍වඥ දෙවි වෙහිය. මහාමුනිවූ බුදුරජාණන් වහන්ස, අනුකම්පා උපදවා මෙය පිළිගනු මැනව (කියායි.)
’’ලෝකයෙහි ශාස්තෘවූ, මහාමුනිවූ, ලෝකනායකවූ භාග්‍යවත් සර්‍වඥතෙමේ මාගේ අදහස දැන (එය) පිළිගත් සේක.
’’මින් එකානූවන කපෙහිවූ එකල්හි මම යම් දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. කිරිබත් දනෙහි මේ විපාකයයි.
’’මින් එක්සාළිස්වන කපෙහි සත්රුවනින් යුත්, මහත් බල ඇති (බුද්‍ධ) නම් සක්විති රජෙක් විය.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පායාසදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
පායසදායකත්ථෙරස්සාපදානං තතියං.