ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
12. මහා පරිවාර වග්ග
9. පච්චුපඨාන සඤ්ඤක ථෙරාපදානය
’’අත්‍ථදස්සී බුදුරජුන් පිරිනිවීමට අනතුරුව යසසට පත් මම යක්‍ෂ යෝනියෙහි ඉපදුනිමි. එකල්හි (මම මෙසේ සිතීමි.)
’’මාගේ සම්පත් පවත්නා කල්හි යම් හෙයකින් බුදුරජාණන් වහන්සේ පිරිනිවි සේක්ද, එය මට අයහපත් ලැබුමක් විය, අයහපත් උදෑසනක් විය, අයහපත් හිරු උදාවක් විය, කියායි.
’’(මෙසේ සිතන්නාවූ) මාගේ අදහස සාගර නම් ශ්‍රාවකයෙක් තෙම දැනගෙන හෙතෙමේ මා (දුකින්) ගොඩගනු කැමැත්තේ මාගේ සමීපයට පැමිණියේය.
’’නුවණැත්ත, (ඔබ) කිම ශෝක කරහිද? බිය නොවනු මැනවි. ධර්‍මයෙහි හැසිරෙන්නා බුදුරජුන් විසින් සියළු දෙනාගේ කුශල බීජ සම්පත්තිය මනාසේ දෙන ලදී.
’’යමෙක් ජීවමානවූ ලෝකනායක බුදුරජුන් පුදන්නේනම් (එසේම) පිරිනිවි බුදුරජුන්ගේ අබැටක් පමණවූ ධාතූන් වහන්සේ නමකුදු පුදන්නේය.
’’චිත්ත ප්‍රසාදය සමවූ කල්හි පිණද සමානය. මහත් බවට ගියේද වේ. එහෙයින් සෑයක් කොට සර්‍වඥ ධාතූන් පුදනු මැනව කියායි.
’’සාගර ශ්‍රාවකයන් වහන්සේගේ වචනය අසා මම සර්‍වඥ (ධාතු නිදන්කොට) සෑයක් කෙළෙමි. (ඒ) බුදු රජුන්ගේ උතුම් සෑය පස් වසක්ම පරිවරණය කෙළෙමි.
’’විපදෝත්තමයන් වහන්ස, ලෝක ජ්‍යෙෂ්ඨයන් වහන්ස, නරශ්‍රේෂ්ඨයන් වහන්ස, එම පුණ්‍ය කර්‍මය කරණ කොට ගෙන සම්පත් අනුභව කොට රහත් බවට පැමිණියෙමි.
’’මින් සත්සියවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති භූරිපඤ්ඤ නම් සිව් සක්විති රජ කෙනෙක් වූහ.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පච්චුපඨාන සඤ්ඤක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
පච්චුපට්ඨානසඤ්ඤකත්ථෙරස්සාපදානං නවමං.