ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
6. වීජනි වග්ග
9. පදුම ථෙරාපදානය
’’උත්තම ධර්‍ම ප්‍රකාශකවූ (පදුමුත්තර බුදුරජ තෙම) චතුස්සත්‍යය දෙසමින් මහජනයාගේ (කෙළෙස් ගිනි) නිවමින් අමා වැසි වස්වයි.
’’නටුව සහිත පියුමක් ගෙන දෙකම ඔසවා සිටි මම සතුටුවූයේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේට අහසෙහි (උඩට) දැමීමි.
’’එකෙණෙහි පියුම පහළට වැටෙන කල්හි ආශ්චර්‍ය්‍යයක් විය. කථා කරන්නවුන් අතුරෙන් ශ්‍රේෂඨවූ බුදුරජ තෙම මාගේ අදහස දැන (එය) පිළිගත් සේක.
’’ජලයෙහි හටගත් පියුම ශ්‍රේෂඨ අතින් ගෙන ශාස්තෘ තෙමේ බික් සඟන මැද හිඳ, මෙම ගාථාවන් දෙසූහ.
’’විනායක (නිවණට පමුණුවන) වූ සර්‍වඥයන් වහන්සේ කෙරෙහි යමෙකු විසින් මෙම පියුම (උඩට) දමන ලදද, ඔහු (කවරෙක්දැයි) මම කියමි. (එසේ) කියන්නාවූ මාගේ වචනය අසව්.
’’තිස් කපක් මුළුල්ලෙහි ශක්‍ර දේවේන්‍ද්‍රව දිව්‍ය රාජ්‍යය කරන්නේය. සත්සිය වරක් පෘථිවි රාජ්‍යය (කොට) පොළොවෙහි වාසය කරන්නේය.
’’එහි (පියුම්) පත් ගෙන (එම ගණනින්) සක්විති රජ වන්නේය. එකල අහසින් මල් වැසි වසින්නේය.
’’මින් කල්ප ලක්‍ෂයක් ඉක්ම ගිය කල ඔක්කාක කුලයෙහි උපදින්නාවූ නම්න් ගෞතම නම්වූ ශාස්තෘ තෙම ලොව පහළ වන්නේය.
’’උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාදීවූයේ ඖරස (බුද්‍ධ) පුත්‍රවූයේ, ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනි වූයේ, සියළු ආශ්‍රවයන් ප්‍රහාණ පරිඥා වශයෙන් (දැන) දුරුකොට ආශ්‍රව රහිතව පිරිනිවන් පාන්නේය (කියායි.)
’’සිහි නුවණින් යෙදී මව්කුසින් බිහිව උත්පත්තියෙහි පස් හැවිරිදි කල්හි මම රහත්බවට පැමිණියෙමි.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පදුම තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
පදුමත්ථෙරස්සාපදානං නවමං.