ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

6. වීජනි වග්ග

8. ධජදායක ථෙරාපදානය

’’මම පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ උතුම් බෝරුකෙහි සතුටුවූයේ, සතුටු සිතින්ම ධජයක් නැගීමි.

’’(බෝධියෙන්) වැටුණු කොළ ගෙන පිටතට බැහැර කරවීමි. ඇතුළත පිරිසිදු පිටතද පිරිසිදු විශේෂයෙන් (කෙළෙසුන්ගෙන්) මිදුණු ආශ්‍රව රහිතවූ බුදුරජාණන් වහන්සේ ඉදිරියෙහි මෙන් උතුම් බෝධිය වැන්දෙමි.

’’පූජාවන් පිළිගන්නාවූ නොහොත් ලෝවැස්සනගේ පූජාවනට ගෙයක් වැනිවූ ශාස්තෘවූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ භික්‍ෂු සංඝයා මැද වැඩහිඳ මේ ගාථා වදාළ සේක.

’’මෙම ධජ දානයෙන්ද (බෝපත් බැහැර කිරීම් වශයෙන් කළ) උපස්ථානයෝද යන මේ දෙකින් හෙතෙම කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියට නොයයි.

’’දෙවියන් අතර බොහෝවූ දිව්‍ය සෞභාග්‍ය (සම්පත්) අනුභව කරන්නේය. නොයෙක් සිය ගණන් වාරයක්හි රටෙහි රජ වන්නේය. නම්න් ’’උග්ගත’’ නම්වූ සක්විති රජෙක්ද වන්නේය.

’’කුශල මූලයන් මෙහෙයන ලදුයේ සම්පත් අනුභවකොට ගෞතම බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි සිත් අලවා වාසය කරන්නේය (කියායි.)

’’උපශාන්තවූයේ, උපධි රහිතවූයේ වඩනා ලද වීර්‍ය්‍ය ඇත්තේ වෙමි. සර්‍වඥ ශාසනයෙහි අන්තිම ශරීරය දරමි.

’’පන්දහස් එක්වන කපෙහි උග්ගත නම් රජෙක් වීමි. (එසේම) පන්දහස්වන කපෙහි ’’මෙඝ’’ නම් රජෙක් වීමි.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් ධජදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

ධජදායකත්ථෙරස්සාපදානං අට්ඨමං.