ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
20. තමාල පුප්ඵිය වග්ග
7. තින්‍දුකදායක ථෙරාපදානය
’’(මම) බල වේගයෙන් යුත් ගිරි දුර්ගයන් හා හැසිරෙන වඳුරෙක් වීමි. (එකල්හි) ගෙඩි හටගත් තිඹිරි ගසක් දැක බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහිපත් කෙළෙමි.
’’පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, කිහිප දිනක්ම භවත්‍රයෙහි අන්තයට ගියාවූ සිද්‍ධාර්ත්‍ථ බුදුරජුන් සෙවීමි.
’’ලෝකයෙහි නිරුත්තර ශාස්තෘවූ (එම බුදුරජතෙම) මාගේ අදහස දැන රහතුන් දහසක් සමග මාගේ සමීපයට පැමිණි සේක.
’’සතුට උපදවා, එම තිඹිරි ගෙඩි ගත් අතැතිව (බුදුරජුන් වෙත) එළඹියෙමි. කථා කරන්නවුන් අතුරෙහි ශ්‍රේෂ්ඨවූ සර්‍වඥවූ භාග්‍යවත්තෙමේ එය පිළිගත් සේක.
’’මින් සිව් අනූවන කපෙහිවූ එකල්හි යම් ඵල දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි.
’’සත් පණස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති උපනන්‍ද නම් සක්විති රජෙක් වීමි.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් තින්‍දුකදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
තින්දුකදායකත්ථෙරස්සාපදානං සත්තමං.