ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
20. තමාල පුප්ඵිය වග්ග
1. තමාල පුප්ඵිය ථෙරාපදානය
’’මට කප්රුකක් (දිව්‍ය වෘක්‍ෂයක්) වැනි විමනක් මවන ලදී. එහි ස්වර්‍ණමයවූ අසූහාරදහසක් ස්ථම්භයෝ (කණු) වූහ.
’’තමලු මලක් ගෙන පැහැදි සිතින් ලෝකබන්ධුවූ සිඛී බුදුරජුන්ට පිදීමි.
’’මින් එක්තිස්වන කපෙහිවූ එකල්හි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද ඒ හේතුවෙන් දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
’’මින් විසිවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති චන්‍දතිත්ත නම් සක්විති රජෙක් වීමි.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් තමාල පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
තමාලපුප්ඵියත්ථෙරස්සාපදානං පඨමං.