ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

19. කුටජපුප්ඵිය වග්ග

3. කොටුම්බරිය ථෙරාපදානය

’’පර්‍වතයන් අතුරෙන් (පිපුනු) කිණිහිරි රුකක් මෙන් බබලන වැඩහුන්නාහු, පමණ කළ නොහැකි (ජලය ඇති) සයුර මෙන් (අපමණ ගුණ ඇති), පැතුරුණාවූ පොළොව මෙන් (ගුණ ඇති), අති ශ්‍රේෂ්ඨ ආජානීයයකු මෙන් නිශ්චල, දිව්‍ය සමූහයා විසින් පිරිවරන ලද (සිඛී බුදුරජුන්) දිටිමි. (දැක) සතුටුවූයේ සතුටු සිතින් නරෝත්තමවූ උන් වහන්සේ වෙත එළඹියෙමි.

’’කොටුම්බර නම් වස්ත්‍ර වර්‍ගයෙහි ගැවසී තිබුනු මල් සතක් ලෝක බන්ධුවූ සිඛී බුදුරජාණන් වහන්සේට පූජා කෙළෙමි.

’’මින් එක්තිස්වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.

’’මින් විසිවන කපෙහි මහත් බල ඇති මහානෙල නම් මහා තේජස් ඇති එක් සක්විති රජෙක් වීමි.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් කොටුම්බරිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

කොටුම්බරියත්ථෙරස්සාපදානං තතියං.