ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

19. කුටජපුප්ඵිය වග්ග

4. පඤ්චහත්‍ථිය ථෙරාපදානය

’’ලොවට දෙටු, නරශ්‍රේෂ්ඨවූ, භාග්‍යවත්වූ තිස්ස නම් බුදුවරයෙක් වූහ. (උන්වහන්සේ) සව්වන් විසින් පිරිවරන ලදුයේ වීථියට පිළිපන් සේක.

’’මා විසින් උපුල් මල් මිටි පසක්ද, සතරක්ද හෙවත් උපුල් මිටි නවයක් තබන ලදී. මම (ඒවා) ව්‍රත සිද්‍ධිය සඳහා බුදුරජුන්ට දෙනු කැමැත්තේ (තුබූ තැනින්) ගතිමි.

’’ඇතුළු වීථියෙහි ගමන් කරන්නාවූ ස්වර්‍ණ වර්‍ණවූ බුදුරජුන් දිටිමි. (මම) බුදු රැසින් මැනවින් පසස්නා ලද්දේ වෙමි. විපදෝත්තමවූ බුදුරජුන්හට පිදීමි.

’’මින් දෙඅනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.

’’මින් තෙළෙස්වන කපෙහි සත් රුවනින් යුත් මහ බල ඇති උසභ නම්වූ පස් සක්විති රජෙක් වූහ.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පඤ්චහත්‍ථිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

පඤ්චහත්ථියත්ථෙරස්සාපදානං චතුත්ථං.