ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

18. කුමුද වග්ග

1. කුමුදුමාලිය ථෙරාපදානය

’’හිමවත් පව්වෙහි මහත්වූ ස්වයංජාත විලක් විය. (මම) එහි හටගත් ඝෝර ස්වරූප ඇති මහා බලවත් රකුසෙක් වීමි.

’’එම විලෙහි කුමුදු මල් පිපේ. (ඒවා) රියසක් පමණව හටගනී. එම මල් නෙලමි. එකල්හි බලවත්වූ බුදුරජුන්ගේ එක්වීම විය.

’’විපදෝත්තමවූ, නරශ්‍රේෂ්ඨවූ, අත්‍ථදස්සී භාග්‍යවත් තෙමේ හැකිලුනු (කුමුදු) මලක් දැක මාගේ සමීපයට පැමිණි සේක.

’’දෙවියනට දෙවිවූ, නරහ්‍රේෂ්ඨවූ, එළඹ සිටියාවූ බුදුරජුන් (දුටිමි.) සියලු මල් ගෙන බුදුරජුන්ට පිදීමි.

’’එකල්හි (එහි රැස්වූ) එම පිරිස හිමවත කෙළවරකොට වූහ. එපමණ තන්හි පැතිරී සෙවෙනි සහිත විය. තථාගතයන් වහන්සේ එතනින් වැඩිය සේක.

’’එස්දහස් අටසියවෙනි කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.

’’මින් පසළොස්වෙනි කපෙහි මහත් බල ඇති ජනාධිපතිවූ සහස්ස රථ නම් ඒ සක්විති රජ කෙනෙක් වූහ.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් කුමුදුමාලිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

කුමුදමාලියත්ථෙරස්සාපදානං පඨමං.