ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

16. බන්ධු ජීවක වග්ග

2. තම්බ පුප්ඵික ථෙරාපදානය

’’අනුනට බැලමෙහෙ කිරීමෙහි යෙදුනේ මම අපරාධයක් කෙළෙමි. (ඒ හේතුවෙන්) භය ජනක අරමුණුවලින් තැතිගත්තේ වනයට පලා ගියෙමි.

’’පොකුරු බැඳි, මනාව නිර්මිතව පිපුණු ගසක් දැක මම (එහි) තඹවන් මල්ගෙන බෝධියට ඉසිමි.

’’ඒ උතුම් පලොල් බෝ නැමද එම බෝ මුලෙහි පළඟ බැඳ (එරමිනියා ගොතාගෙන) (වාඩිවී) හුනිමි.

’’(අපරාධකොට) පලාගිය මග සොයා යන්නෝ මාගේ සමීපයට පැමිණියාහුය. මම ඔවුන් දැක උතුම් බෝධියම සිහිපත් කෙළෙමි.

’’මම පිරිසිදු සිතින් බෝධිය වැඳ (නැවත පහව යන්නෝ) බොහෝ තල්රුක් පමණින් ගිනිය යුතුවූ (ගැඹුරු) භයානක ගිරි දුර්‍ගයෙක්හි වැටුනෙමි.

’’මින් එක් අනූ වන කපෙහි යම් මල් පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බෝධි පූජාවෙහි මේ විපාකයයි.

’’මින් තෙවන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති සම්ඵුසිත නම් සක්විති රජෙක් වීමි.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් තම්බ පුප්ඵික තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

තම්බපුප්ඵියත්ථෙරස්සාපදානං දුතියං.