ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

16. බන්ධු ජීවක වග්ග

1. බන්ධු ජීවක ථෙරාපදානය

’’(උපක්ලේශ විරහිත) චන්‍ද්‍රයා මෙන් නිර්‍මලවූ (කෙළෙස් කිළිටි නොමැති බැවින්) පිරිසිදුවූ, පැහැදුනාවූ, (කෙළෙස් මළ වලින්) නොකැළඹුනාවූ, (නන්‍දිභව නම්වූ) තෘෂ්ණාව හා භවය (පල විශේෂයෙන් හාත්පසින්ම) ක්‍ෂය කරණ ලද්දාවූ, ත්‍රිවිධ ලෝකයෙහි ඇල්ම නැතිකළ, ජන සමූහයා කෙළෙස් ගිනි නිවන්නාවූ සසර සයුරින් එතෙරවූ, එසේ එතෙරවූවන් අතුරෙන් උතුම්වූ, වනයෙහි ධ්‍යාන කරන්නාවූ, ඒ එකලාවූ, සන්සුන්වූ (සිඛී බුදුරජුන් දුටිමි.)

’’මම බඳුවද මල් නූලක එල්වා සිඛී බුදුරජාණන් වහන්සේට පිදීමි.

’’මින් එක්තිස්වන කපෙහිවූ එකල්හි යම් කර්‍මයක් කරණ ලදද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.

’’මින් සත්වන කපෙහි මනුජෙන්‍ද්‍රවූ, වැඩි දියුණුවූ යසස ඇති, මහා බලවත් සමන්තචක්ඛු නම් සක්විති රජෙක් වීමි.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් බන්ධු ජීවක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

බන්ධුජීවකත්ථෙරස්සාපදානං පඨමං.