ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
15. ඡත්ත වග්ග
4. සපරිවාරිය ථෙරාපදානය
’’පස්මරුන් දිනූ, ලෝක ජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රේෂ්ඨවූ, පදුමුත්තර බුදුරජ තෙම ගිනි කඳක් මෙන් දිලිසී පිරිනිවන් පානා ලදුයේ විය.
’’මහා වීරවූ බුදුරජාණන් වහන්සේ පිරිනිවි කල්හි (උන්වහන්සේගේ ධාතු නිදන් කළ) මහත් සෑයක් විය. අති උතුම් ධාතු ගෘහයෙහි දිව රෑ දෙක්හි උවටැන් කෙරෙත්.
’’පහන් සිත් ඇත්තේ, සොම්නස් වූයේ, (එහි) සඳුන් වේදිකාවක් (චේතියඝරයක්) කෙළෙමි. එකල්හි (එය) සෑයට සුදුසු වූයේ, දුම්කඳක් මෙන් පෙනේ.
’’දිව්‍යවූ හෝ, මනුෂ්‍යවූ හෝ භවයෙහි උපදිනා කල්හි මාගේ පහත් බවක් නොදකිමි. පූර්‍ව කර්‍මයාගේ මේ විපාකයයි.
’’මින් එක් දහස් පන්සියවන කපෙහි මහත් බල ඇති ඒ සියලු සක්විති රජවරු අට දෙනෙක් වූහ.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සපරිවාරිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
සපරිවාරියත්ථෙරස්සාපදානං චතුත්ථං.