ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

15. ඡත්ත වග්ග

1. අධිඡත්තිය ථෙරාපදානය

’’භාග්‍යවත්වූ අත්‍ථදස්සී බුදුරජාණන් පිරිනිවි කල්හි (උන්වහන්සේගේ) ධාතු චෛත්‍යයෙහි ඡත්‍රය මතුයෙහි ඡත්‍රයක් කරවා පිදීමි.

’’කලින් කල අවුත් සාස්තෲන් වහන්සේගේ චෛත්‍යයට නමස්කාර කෙළෙමි. මල් වියනක්ද කොට ඡත්‍රයෙහි (මත) නගා තැබීමි.

’’(ඒ හේතුවෙන්) එක් දහස් එක් සිය වන කපෙහි දිව්‍ය රාජ්‍යය කරවීමි. මිනිසත් බවට නොයමි. ස්ථූප පූජාවෙහි මේ විපාකයයි.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් අධිඡත්තිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

අතිඡත්තියත්ථෙරස්සාපදානං පඨමං.