ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

14. සොභිත වග්ග

10. පියාල ඵලදායක ථෙරාපදානය

’’එකල්හි (මම) අනුන්ගේ ජීවිතයනට අවහිර කරනු වැද්දෙක්වීමි. සිඛී බුදුරජාණන් වහන්සේට නුදුරෙහි ගිරි ගුහාවක සයනය කරමි.

’’ලෝකයෙහි අසහාය නායකවූ බුදුරජුන් සවස හා උදෑසනද දකිමි. විපදෝත්තමවූ, තාදී ගුණ ඇති, උන්වහන්සේට දෙය්‍ය ධර්‍මයකුදු (දියයුතු දෙයක්) මට නැත.

’’පියල් ගෙඩියක් ගෙන, (මම) බුදුරජුන් වෙතට ගියෙමි. ඉක්බිති (එය) පිළිගැනීම සඳහා බුදුරජුන්හට ආරාධනා කෙළෙමි.

’’ලෝක ජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රේෂ්ඨවූ භාග්‍යවත් තෙමේ එය පිළිගත් සේක. මම එම චිත්ත ප්‍රසාදයෙන් යුතුව එහිම කළුරිය කෙළේ (වෙමි.)

’’මින් එක්තිස් වන කපෙහිවූ එකල්හි යම් ඵල දානයක් දුනිම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පල දානයාගේ මේ විපාකයයි.

’’මින් පසළොස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති පියාලී නම් තුන් සක්විති රජ කෙනෙක් වූහ.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පියාල ඵලදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

පියාලඵලදායකත්ථෙරස්සාපදානං දසමං.

සොභිතවග්ගො චුද්දසමො.