ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

14. සොභිත වග්ග

1. සොභිත ථෙරාපදානය

’’ලෝක ජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රේෂ්ඨවූ, පදුමුත්තර බුදුරජාණන් වහන්සේ මහත්වූ ජන සමූහයාට අමෘතපදය, (නිර්‍වාණය) දේශනා කරණ සේක.

’’මම උන්වහන්සේ විසින් වදාරණ ලද උතුම් වචන අසා එකල්හි ඇඳිලි බැඳගෙන එකඟ සිත් ඇත්තේ වීමි. (බුදු නුවණද මෙසේ පැසසීමි. කෙසේදයත්)

’’යම්සේ මහසයුර ජලාශයනට අග්‍ර වේද, සිනෙරු පර්‍වතය පර්‍වතයනට අග්‍රවේද, එසේම යමෙක් චිත්ත (ඤාණ) වශයෙන් පවතිත් නම් ඔවුහු බුදු නුවණින් කලාවකටද නොපැමිණෙත්. (හැම නුවණකටම වඩා බුදු නුවණ අග්‍රය කියායි.) ’’(එකල්හි) කාරුණීක ඎෂිවූ බුදුරජාණන් වහන්සේ ධර්‍මයෙහි ධර්‍මයෙහි ක්‍රමය (දහම් දෙසුම) තබා, භික්‍ෂු සංඝයා මැද වැඩ හිඳ, මෙම ගාථාවන් වදාළ සේක.

’’ලෝකනායක බුදුරජුන් කෙරෙහිවූ නුවණ යමෙක් (ප්‍රශංසා මුඛයෙන්) පැවසීද, (ඒ හේතුවෙන්) හෙතෙම කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියකට නොයන්නේය.

’’එකඟව, සන්සුන්ව, කෙළෙස් දවා නම්න් සෝභිත නම්වූ ශ්‍රාවකයෙක් වන්නේය. (කියායි.)

’’මා විසින් කෙළස් දවන ලදී. සියලු භවයෝ වනසන ලදහ. පමුණුවන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහ. (මේ අයුරින්) බුදුසසුන කරණ ලදී.

’’මින් පණස් දහස්වන කපෙහි සත්රුවනින් යුත්, මහත් බල ඇති, යසුග්ගත නම් සත් සක්විති රජ කෙනෙක් වූහ.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සොභිත තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

සොභිතත්ථෙරස්සාපදානං පඨමං.