ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

12. මහා පරිවාර වග්ග

5. සුවණ්ණපුප්ඵිය ථෙරාපදානය

’’ලෝක ජ්‍යෙෂ්ඨවූ, නර ශ්‍රේෂ්ඨවූ, විපස්සී භාග්‍යවත් තෙමේ ජන සමූහයාට අමෘත පදය (නිර්‍වාණ ධර්මය) දේශනා කරයි.

’’මම තාදී ගුණ ඇති, විපදෝත්තමවූ උන්වහන්සේගේ ධර්මය අසා රන් මල් සතරක් බුදුරජාණන් වහන්සේට පිදීමි.

’’එකල්හි යම්තාක් පිරිසවීද, ඒතාක් (පැතුරුණු) රන් පියස්සක් විය. බුද්‍ධ රශ්මියද, ස්වර්ණ රශ්මියද (මිශ්‍රවී) ආලෝකය මහත්විය.

’’ඔදවැඩි සිත් ඇති, සොම්නස්වූ, හටගත් සතුට ඇති, ප්‍රීතිය උපවන්නාවූ ඔවුනට මෙලොව සුව ගෙන දෙන්නාවූ මම බුදුරජාණන් වහන්සේට අයැද මනාව්‍රත ඇති උන්වහන්සේට වැඳ සතුට උපදවා ස්වකීය භවනයට ගියෙමි.

’’භවනයෙහි හුන් මම බුද්‍ධ ශ්‍රේෂඨයන් වහන්සේ සිහි කෙළමි. මම එම චිත්ත ප්‍රසාදය හේතුකොට ගෙන තුසිත භවනයෙහි උපනිමි.

’’මින් එක් අනූවන කපෙහි යම් මල් පූජාවක් කෙළෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.

’’මින් තෙසාළිස්වන කපෙහි මහත් බල ඇති නෙමිසම්මත නම් සොළොස් සක්විති රජ කෙනෙක් වූහ.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුවණ්ණපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

සුවණ්ණපුප්ඵියත්ථෙරස්සාපදානං පඤ්චමං.