ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

11. භික්ඛාදායි වග්ග

1. භික්ඛාදායි ථෙරාපදානය

’’මම ස්වර්‍ණවූ, ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ (නොහොත් පූජාවනට ගෙයක් බඳුවූ) උතුම්වූ විහාරයෙන් (පිඬු පිණිස) නික්මුණාවූ, තෘෂ්ණාවෙන් නික්ම නිවණට පැමිණියාවූ, ප්‍රඥාවෙන් උපශාන්තවූ, තාදී ගුණ ඇති, මහා වීරවූ සිද්‍ධාර්ත්‍ථ බුදුරජාණන් වහන්සේට සැන්දක් පමණවූ භික්‍ෂා දානයක් දුනිමි.

’’පියවරින් පියවර වඩිමින් මහා ජනයා නිවණට පමුණුවන කල්හි මට (ඒ) ආදිච්ච බන්‍ධුවූ (හිරුගොත්හි) බුදුරජුන් කෙරෙහි මහත්වූ සොම්නසක් ඇතිවිය.

’’මින් සිව් අනූවන කපෙහිවූ එකල්හි යම් දනක් දුනිම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. භික්‍ෂා දානයාගේ මේ විපාකයයි.

’’මින් සත්අසූවන කපෙහි සත් රුවනින් යුත් මහා රේණු නම් සක්විති රජ කෙනෙක් වූහ.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් භික්ඛාදායී තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

භික්ඛදායකත්ථෙරස්සාපදානං පඨමං.