ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

7. සකචින්තනිය වග්ග

1. සකචින්තනිය ථෙරාපදානය

ඎෂීන් විසින් සෙව්නා ලද, අල්ප ශබ්ද ඇති, කැළඹිළි රහිත වනයක් දැක, දෙව් මිනිසුන්ගේ පූජාවන් පිළිගන්නාවූ, බුදුරජාණන් වහන්සේ උදෙසා වැලි (වලින්) සෑයක් කොට, නොයෙක් මල් විසිරවීමි. නිර්මිත බුදුරජුන් ඉදිරියෙහි මෙන් මම (එම සෑයට) වැන්දෙමි.

’’(එම පිණින්) සිය කටයුතුවල යෙදුන මම සත් රුවණින් යුත් රටෙහි අධිපති රජ වීමි. ස්ථූප පූජාවෙහි මේ විපාකයයි.

’’මින් එකානූවන කපෙහි (සෑයට) යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ස්තූප පූජාවෙහි මේ විපාකයයි.

’’මම අසූවන කපෙහි සත් රුවණින් යුත් සිව් මහ දිවයින්හි අධිපතිවූ, අනන්ත යස නම් සක්විති රජෙක් වීමි.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සකචින්තනිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

සකචින්තනියත්ථෙරස්සාපදානං පඨමං.