ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(දුතියො භාගො)
49. පංසුකූල වග්ග
3. භිසදායක ථෙරාපදානය
’’මම එකල්හි නොයෙක් හස්තීන් විසින් සෙව්නා ලද පොකුණකට බැස, සාදුක හේතුකොට ගෙන එහි නෙළුඹල උදුරමි.
’’එසමයෙහි රතුවන් සිවුරු දරන්නාවූ, භාග්‍යවත්වූ පදුමුත්තර නම්වූ බුදුරජතෙම අහස්මගෙහි වඩිති.
’’එකල්හි පසුල් සිවුරු කම්පා කරන්නේ මම (එම) ශබ්දය ඇසීමි. උඩ බලන්නාවූ මම ලෝකනායකවූ බුදුරජුන් දුටුවෙමි.
’’(මම) එහිම සිටියේ බුදුරජුන්ගෙන් (මෙසේ) ඉල්ලීමි. මාගේ නෙළුඹල සහිතවූ මීද, කිරිද, ගිතෙල්ද, නෙළුඹු දැලිද, පසැස් ඇත්තාවූ බුදුරජතෙම පිළිගණීවා’’ ඉක්බිති මහත් යශස් ඇති කාරුණීකවූ ශාස්තෘතෙම අහසින් බැස,
’’පසැස් ඇති සර්‍වඥතෙම මාගේ භික්‍ෂාව අනුකම්පාවෙන් පිළිගත් සේක. බුදුරජතෙම (එය) පිළිගෙන මට අනුමෝදන් කළහ. (කෙසේදයත්?)
’’මහ පින් ඇතියාණන් වහන්ස, සුව ඇත්තේ වන්න. ඔබගේ ගතිය සමෘද්‍ධ වේවා. මෙම නෙළුඹල දන කරණකොටගෙන මහත් සැප ලබම්වා.’’
’’පදුමුත්තර නම් බුදුරජතෙමේ මෙය වදාරා, භික්‍ෂාව ගෙන පස්මරුන් දිනූ සර්‍වඥ තෙමේ අහසින් වැඩි සේක.
’’ඉක්බිති නෙළුඹල ගෙන මාගේ අසපුවට පැමිණයෙමි. නෙළුඹල ගසෙක්හි එල්වා මාගේ දානය සිහිපත් කෙළෙමි.
’’එකල්හි මහා වාතයක් නැගී වනය කම්පා කෙළේය. හෙන පපුරන කල්හි අහස ශබ්ද පැවැත්වීය.
’’එකල්හි සෙනක් මාගේ හිස මතුයෙහි පතිතවීය. එහි හුන් මම කළුරිය කෙළෙමි.
’’මම පින්කම සහ යෙදුනේ, තුෂිත දෙව්ලොවෙහි ඉපදුනෙමි. මාගේ සිරුර පතිතවිය. මම දෙව්ලොවෙහි සිත් අලවා විසීමි.
’’මැනවින් සරසන ලද සයාසූ දහසක් ස්ත්‍රීහු සවසද, උදෑසනද (මා) උවටැන් කෙරෙත්.
’’මම හැමකල්හි මිනිසත් බවට පැමිණ සුව ඇත්තේ වෙමි. මාගේ භෝගයෙහි අඩු බවක් නැත. නෙළුඹල දනෙහි මේ විපාකයයි.
’’ඉක්බිති තාදී ගුණ ඇති එම දේවාති දෙවියන් වහන්සේ විසින් අනුකම්පා කරන ලදී. සියළු ආශ්‍රව ක්‍ෂය විය. දැන් නැවත ඉපදීමක් නැත.
’’එකල්හි සියක් දහස්වන කපෙහි වූ එකල්හි යම් භික්‍ෂාවක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. නෙළුඹල දනෙහි මේ විපාකයයි.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් භිසදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
භිසදායකත්ථෙරස්සාපදානං තතියං.