ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

21. කණිකාරපුප්ඵිය වග්ග

6. උදකදායක ථෙරාපදානය

’’මම පැහැදුණු ඉඳුරන් ඇති, කෙළෙස් කැළඹිලි නැති, වළඳන්නාවූ ශ්‍රමණයන් වහන්සේ කෙනෙක් දැක එම සිද්‍ධාර්ත්‍ථ බුදුරජුන්හට කලයෙන් දිය ගෙනවුත් දුනිමි.

’’මම අද පහවූ සැක ඇති පිරිසිදුවූ නිර්‍මල කෙනෙක් වෙමි. (ඒ හේතුවෙන්) භවයෙහි උපදිනා කල්හි යහපත් විපාක ඇතිවේ.

’’මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි යම් ජල දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. උදක දානයාගේ මේ විපාකයයි.

’’මින් සැටවන කපෙහි සත්රුවනින් යුත්, මහත් බල ඇති ’’විමල’’ නම් සක්විති රජෙක් වීමි.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් උදකදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

උදකදායකත්ථෙරස්සාපදානං ඡට්ඨං.