ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

13. සෙරෙය්‍ය වග්ග

8. ඤාණ සඤ්ඤක ථෙරාපදානය

’’හිමවත් පව්වෙහි කඳු අතරක වෙසෙමි. ශෝභනවූ වැලි තලාවක් දැක, බුද්‍ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහි කළෙමි.

’’නුවණෙහි (සැසඳීමට) උපමාවක් නැත. ශාස්තෲන් වහන්සේට සංග්‍රාමයකුදු නැත. සියලු ධර්‍මයන් නුවණින් දැන (දුකින්) මිදේ.

’’පුරුෂ ශ්‍රෙෂ්ඨයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. පුරුෂොත්තමයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. උතුම් නුවණ යම්තාක්ද, (එතෙක්වූ) ඔබ වහන්සේගේ නුවණ හා සම කෙනෙක් නැත.

’’බුද්‍ධඤාණයෙහි (සිත) පහදවා කපක් මුළුල්ලෙහි මම ස්වර්‍ගයෙහි සතුටුවීමි. සෙසු කල්පයන්හි මා විසින් කුශල් කරන ලදී.

’’මින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් ඥාණ සංඥාවක් ලැබූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ ඥාන සංඥාවෙහි මේ ප්‍රථිඵලයයි.

’’මින් තෙසැත්තෑවන කපෙහි සත්රුවනින් යුත්, මහත් බල ඇති, පලිත පුෂ්ථිය නම් සක්විති රජෙක් විය.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඤාණ සඤ්ඤක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

ඤාණසඤ්ඤිකත්ථෙරස්සාපදානං අට්ඨමං.