සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
2. වේදනා සංයුත්තය
3. අට්ඨසත පරියාය වර්‍ගය
3. භික්ඛු සූත්‍රය. (1)
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. ඉක්බිති එක්තරා භික්‍ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්‍ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේය.
’’ස්වාමීනි, වේදනාව කවරීද? වේදනාවගේ හේතුව කවරේද, වේදනාව පහළවීම පිණිස පවත්නා ප්‍රතිපදාව කවරේද, වේදනාවගේ නිරෝධය කවරේද, වේදනා නිරුඬයට යන ප්‍රතිපදාව කවරේද, වේදනාවගේ ආශ්වාදය කවරේද, වේදනාවගේ ආදීනවය කවරේද, නිස්සරණය කවරේද?,
’’මහණෙනි, මේ වේදනා තුනකි. සැප වේදනා දුක් වේදනා උපෙක්‍ෂා වේදනා යන මේ තුනය. මහණ, මොවුහු වේදනාවෝයයි කියනු ලැබෙත්. ස්පර්‍ශයාගේ හටගැනීමෙන් වේදනාව පහළවේ. තෘෂ්ණාව, වේදනාව ඉපදීම කරා පැමිණෙන ප්‍රතිපදාවය. ස්පර්‍ශය නිරුඬවීම හේතුකොටගෙන වේදනාවන්ගේ නිරෝධය වෙයි. මේ සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කර්‍මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මේ ආර්‍ය්‍ය අෂ්ටාඞගික මාර්‍ගය වේදනා නිරෝධයට යන ප්‍රතිපදාවයි. වේදනාව නිසා යම් සැපක් සොම්නසක් උපදීද, මේ වේදනාවගේ ආශ්වාදයයි. යම් වේදනාවක් අනිත්‍යද දුක්ද, පෙරළෙන ස්වභාව ඇත්තේද මේ වේදනාවගේ ආදීනවයයි. වේදනාවගේ යම් ආශාව දුරුකිරීමක් වේද යම් ආශාව පහකිරීමක් වේද මේ වේදනාවගේ නිස්සරණයයි.,