සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
1. සළායතන සංයුත්තය
18. සමුද්ද වර්‍ගය
6. කාමභූ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කළෙක්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් කාමභූ ස්ථවිරයන් වහන්සේද, කොසඹෑ නුවර ඝෝසිතාරාමයෙහි වාසය කරති. ඉක්බිති ආයුෂ්මත් කාමභූ ස්ථවිරතෙමේ සවස් වේලෙහි විවේකයෙන් නැඟී සිටියේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටු වියයුතුවූ සිහිකටයුතුවූ කථාව කොට නිමවා එක් පසෙක උන්නේය. එක් පසෙක උන්නාවූ ආයුෂ්මත් කාමභූ ස්ථවිරතෙම ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට මෙය සැල කෙළේය.
’’ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයෙනි, කිමෙක්ද?
’’ඇස රූපයන්ගේ සංයෝජනය වේද, රූපයෝ ඇසට සංයෝජන වෙත්ද? කණ ශබ්දයන්ගේ සංයෝජනය වේද, ශබ්දයෝ කණට සංයෝජන වේද? නාසය ගන්‍ධයන්ගේ සංයෝජනය වේද, ගන්‍ධයෝ නාසයට සංයෝජන වේද? දිව රසයන්ගේ සංයෝජනය වේද, රස දිවට සංයෝජන වේද? කය ස්පර්‍ශයන්ගේ සංයෝජනය වේද, ස්පර්‍ශයෝ කයට සංයෝජන වේද? සිත ධර්‍මයන්ට සංයෝජනය වේද, ධර්‍මයෝ සිතට සංයෝජන වෙත්ද?, කියායි.
’’ආයුෂ්මත් කාමභූ ස්ථවිරයෙනි, ඇස රූපයන්ගේ සංයෝජනය නොවේ. රූපයෝ ඇසට සංයෝජන නොවෙත්. එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, ඒ එහි සංයෝජනය වේ.
’’කණ ශබ්දයන්ගේ සංයෝජන නොවේ. ශබ්දයෝ කණට සංයෝජන නොවෙත්. ඒ දෙක නිසා ඡන්‍දරාගයකුත් උපදීද, ඒ එහි සංයෝජනය වේ.
’’නාසය ගන්‍ධයන්ගේ සංයෝජන නොවේ. ගන්‍ධයෝ නාසයට සංයෝජන නොවෙත්. එහි ඒ දෙක නිසා යම් ඡන්‍ද රාගයකුත් උපදීද, ඒ එහි සංයෝජන වේ.
’’දිව රසයන්ගේ සංයෝජනය නොවේ. රසයෝ දිවට සංයෝජන නොවෙත්. එහි ඒ දෙක නිසා ඡන්‍ද රාගයකුත් වේද, එය එහි සංයෝජනය වේ.
’’කය ස්පර්‍ශයන්ගේ සංයෝජනය නොවේ. ස්පර්‍ශයෝ කයට සංයෝජන නොවෙත්. එහි ඒ දෙක නිසා ඡන්‍ද රාගයකුත් උපදීද, ඒ එහි සංයෝජනය වේ.
’’සිත ධර්‍මයන්ගේ සංයෝජනය නොවේ. ධර්‍මයෝ සිතට සංයෝජන නොවෙත්. එහි ඒ දෙක නිසා යම් ඡන්‍ද රාගයකුත් උපදීද, ඒ එහි සංයෝජන වේ.
’’ඇවැත්නි , යම් සේ කළු ගවයෙක්ද, සුදු ගවයෙක්ද, එක දම්වැලකින් හෝ ලණුවකින් හෝ බඳින ලද්දාහු වන්නාහුද, යමෙක් වනාහි කළු ගවයා සුදු ගවයාට බන්‍ධනය වෙයි. සුදු ගවයා කළු ගවයාට බන්‍ධනය වෙයි’ කියන්නේ නම් හෙතෙම සත්‍යයක් කියන්නේද?, }“ , ඇවැත්නි, එය නොවේමැයි.,
’’ඇවැත්නි, කළු ගවයා සුදු ගවයාගේ බන්‍ධනය නොවේ. සුදු ගවයා කළු ගවයාගේ බන්‍ධනය නොවේ. ඔවුහු යම් එක දම්වැලකින් හෝ එක් ලණුවකින් හෝ බඳින ලද්දාහුද, එය එහි සංයෝජනය (බන්‍ධනය) වේ.
’’ඇවැත්නි, එපරිද්දෙන්ම ඇස රූපයන්ගේ බන්‍ධනය නොවේ. රූපයෝ ඇසට සංයෝජන (බන්‍ධන) නොවෙත්. එහි ඒ දෙක නිසා යම් ඡන්‍ද රාගයකුත් උපදීද, එය එහි සංයෝජනය වේ.
’’කණ ශබ්දයන්ගේ බන්‍ධනය නොවේ. ශබ්දයෝ කණට සංයෝජන (බන්‍ධන) නොවෙත්. එහි ඒ දෙක නිසා යම් ඡන්‍ද රාගයක් උපදීද, එය එහි සංයෝජනය වේ.
’’නාසය ගන්‍ධයන්ගේ බන්‍ධනය නොවේ. ගන්‍ධයෝ නාසයට සංයෝජන (බන්‍ධන) නොවෙත්. එහි ඒ දෙක නිසා යම් ඡන්‍ද රාගයකුත් උපදීද, එය එහි සංයෝජනය වේ.
’’දිව රසයන්ගේ බන්‍ධනය නොවේ. රසයෝ දිවට සංයෝජන නොවෙත්. එහි ඒ දෙක නිසා යම් ඡන්‍ද රාගයකුත් උපදීද, එය එහි සංයෝජනය වේ.
’’කය ස්පර්‍ශයන්ගේ බන්‍ධනය නොවේ. ස්පර්‍ශයෝ කයට සංයෝජන (බන්‍ධන) නොවෙත්. එහි ඒ දෙක නිසා යම් ඡන්‍ද රාගයකුත් උපදීද, එය එහි සංයෝජනය වේ.
’’සිත ධර්‍මයන්ට සංයෝජන නොවේ. ධර්‍මයෝ සිතට සංයෝජන (බන්‍ධන) නොවෙත්. එහි ඒ දෙක නිසා යම් ඡන්‍ද රාගයකුත් උපදීද, එය එහි සංයෝජනය වේ.