අඞ්ගුත්තරනිකායො

අඨක නිපාතය

1. පඨම පණ්ණාසකය

4. දාන වර්‍ගය

7. සප්පුරිසදාන සූත්‍රය

’’මහණෙනි, මේ අට සත්පුරුෂ දානයෝ වෙත්. කවර අටෙක්ද යත්? පිරිසිදුව දෙයි. ප්‍රණීතව දෙයි. සුදුසු කාලයෙහි දෙයි. කැප දේ දෙයි. ප්‍රතිග්‍රාහකයන් හෝ දාන වස්තුව පරීක්‍ෂාකොට දෙයි. නිතර දෙයි. දෙන කල්හි සිත පහදවා දෙයි. දානය දුන් පසු සිත සතුටු කර ගනී. මහණෙනි, මේ අට සත්පුරුෂ දානයෝයි.

(1) බ්‍රහ්මචාරීවූ යහපත් පුණ්‍ය ක්‍ෂෙත්‍රයෙහි, පිරිසිදුව, ප්‍රණීතව, සුදුසු කාලයෙහි, කැපවූ ආහාරපාන නිතර දන් දෙයි. බොහෝ ආමිස පරිත්‍යාග කොටද, විපිළිසර නොවන්නේය. මෙසේ දෙන ලද දානයන් බුද්‍ධාදී උතුමෝ වර්‍ණනා කරණ සේක.

(2) ’’මෙසේ ප්‍රඥාවන්තවූ, ශ්‍රද්‍ධාවන්තවූ, පණ්ඩිත තෙම (ලොභ ද්වේෂාදියෙන්) මිදුන සිතින් පරිත්‍යාග කොට ව්‍යාපාද රහිතවූ සැප ඇති ලෝකයෙහි උපදී.’’