අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

2. දෙවැනි පණ්ණාසකය

(9) 4. ථෙර වර්‍ගය

8. අහිතපටිපන්න සූත්‍රය

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ස්ථවිර භික්‍ෂු තෙම බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අවැඩ පිණිස, දෙව්මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස පිළිපන්නේ වේ.

’’කවර පසකින්ද යත්? ස්ථවිර තෙම බොහෝ කල් දන්නේ පැවිදිවූ බොහෝ කල් ඇත්තේ වේද,

’’ප්‍රකටවූයේ, යස පිරිවර ඇත්තේ, ගෘහස්ත ප්‍රව්‍රජිතයන්ගෙන් බොහෝ දෙනා පිරිවරකොට ඇත්තේද,

’’චීවරය, පිණ්ඩපාතය, ශයනාසනය, ගිලන්පස, බෙහෙත් පිරිකර යන මොවුන් සම්බන්‍ධ ලැබීම් ඇත්තෙක් වේද,

’’බහුශ්‍රුතවූයේ, ඇසූ දෙය දරන්නේ, අසන ලද්දවුන්ගේ රැස් කිරීම ඇත්තේ වේද,

’’මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත්වූ, අර්ත්‍ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, යම් ඒ ධර්මයෝ සියල්ලෙන් සම්පූර්‍ණවූ. පිරිසිදුවූ බ්‍රහ්මවර්‍ය්‍යාව ප්‍රකාශ කරද්ද, එබඳු ධර්‍මයෝ මොහු විසින් බොහෝකොට අසන ලද්දාහු, සිතින් දරණ ලද්දාහු, වචනයෙන් පුරුදු කරණ ලද්දාහු, සිතින් සළකා බලන ලද්දාහු, දෘෂ්ටියෙන් මනාව අවබෝධ කරණ ලද්දාහු වෙද්ද,

’’පෙරලුනාවූ දැකුම් ඇති මිත්‍යාදෘෂ්ටිකයෙක් වේද, හෙතෙම බොහෝ දෙනා සද්ධර්මයෙන් නැගිටුවා අසද්ධර්මයෙහි පිහිටුවාද, ස්ථවිර භික්‍ෂු තෙම චිරකල් දන්නේ පැවිදිවූ බොහෝ කල් ඇත්තේයයිද, මොහුගේ දෘෂ්ටානුගතියට පැමිණෙත්. ප්‍රකටවූ ස්ථවිර භික්‍ෂු තෙම යශස් ඇත්තේ ගෘහස්ත ප්‍රව්‍රජිතයන්ගෙන් බොහෝ දෙනා පිරිවරකොට ඇත්තේ යයිද, මොහුගේ දෘෂ්ටානු ගතියට පැමිණෙත්. ස්ථවිර භික්‍ෂු තෙම චීවරය, පිණ්ඩපාතය, ශයනාසනය, ගිලන්පස, බෙහෙත් පිරිකර යන මොවුන් සම්බන්‍ධව ලැබීම් ඇත්තේයයිද, මොහුගේ දෘෂ්ටානු ගතියට පැමිණෙත්. ස්ථවිර භික්‍ෂු තෙම බහුශ්‍රුතවූයේ, ඇසූ දෙය දරන්නේ, අසන ලද්දවුන්ගේ රැස්කිරීම් ඇත්තේයයිද, මොහුගේ දෘෂ්ටානුගතියට පැමිණෙත් යන මේ පසිනි.

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ස්ථවිර භික්‍ෂු තෙම බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අවැඩ පිණිස, දෙව්මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස පිළිපන්නේ වේ.

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ස්ථවිර භික්‍ෂු තෙම බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට වැඩ පිණිස, දෙව්මිනිසුන්ට හිත පිණිස, දුක් පිණිස පිළිපන්නේ වේ.

කවර පසකින්ද යත්? ස්ථවිර තෙම චිර රාත්‍රඥ වූයේ, පැවිදිවූ බොහෝ කල් ඇත්තේ වේද, ප්‍රකටවූයේ, යශස් ඇත්තේ, ගෘහස්ත ප්‍රව්‍රජිතයන්ගෙන් බොහෝ දෙනා පිරිවරකොට ඇත්තේ වේද, චීවරය, පිණ්ඩපාතය, ශයනාසනය, ගිලන්පස, බෙහෙත් පිරිකර යන මොවුන් සම්බන්‍ධව ලැබීම් ඇත්තේ වේද,

’’බහුශ්‍රුතවූයේ, ඇසූ දෙය දරන්නේ, අසන ලද්දවුන්ගේ රැස් කිරීම ඇත්තේ වේද, මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත්වූ, අර්ත්‍ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, යම් ඒ ධර්මයෝ සියල්ලෙන් සම්පූර්‍ණවූ. පිරිසිදුවූ බ්‍රහ්මවර්‍ය්‍යාව ප්‍රකාශ කරද්ද, එබඳු ධර්‍මයෝ මොහු විසින් බොහෝකොට අසන ලද්දාහු, සිතින් දරණ ලද්දාහු, වචනයෙන් පුරුදු කරණ ලද්දාහු, සිතින් සළකා බලන ලද්දාහු, දෘෂ්ටියෙන් මනාව අවබෝධ කරණ ලද්දාහු වෙද්ද,

නොපෙරළුනාවූ දැකුම් ඇති සම්‍යක් දෘෂ්ටි ඇත්තෙක් වේද, හෙතෙම බොහෝ දෙන අසද්ධර්‍මයෙන් නගා සිටුවා සද්ධර්මයෙහි පිහිටුවයි. ස්ථවිර භික්‍ෂු තෙම චිර රාත්‍රඥවූයේ පැවිදිවූ බොහෝ කල් ඇත්තේයයිද, මොහුගේ දෘෂ්ටානුගතියට පැමිණෙත්. ප්‍රකටවූ ස්ථවිර භික්‍ෂු තෙම යශස් ඇත්තේ, ගෘහස්ත ප්‍රව්‍රජිතයන්ගෙන් බොහෝ දෙනෙක් පිරිවරකොට ඇත්තේයයිද. මොහුගේ දෘෂ්ටානුගතියට පැමිණෙත්. ස්ථවිර භික්‍ෂු තෙම චීවරය, පිණ්ඩපාතය, ශයනාසනය, ගිලන්පස, බෙහෙත් පිරිකර යන මොවුන් සම්බන්‍ධව ලාභ ඇත්තේයයිද, බහුශ්‍රුතවූයේ, ඇසූ දෙය දරන්නේ, අසන ලද්දවුන්ගේ රැස්කිරිම ඇත්තේයයිද, මොහුගේ දෘෂ්ටානුගතියට පැමිණෙත් යන පසිනි.

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ස්ථවිර භික්‍ෂු තෙම බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට වැඩ පිණිස, දෙව්මිනිසුන්ට හිත පිණිස, දුක් පිණිස පිළිපන්නේ වේ.