අඞ්ගුත්තරනිකායො
චතුක්ක නිපාතය
2. දුතිය පණ්ණාසකය
(7) 2. පත්ත කම්ම වර්‍ගය
2. අනණසුඛ සූත්‍රය
’’ඉක්බිති අනේපිඬු ගෘහපති තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය.
’’එකත්පසෙක හුන් අනාථ පිණ්ඩික ගෘහපතිහට භාග්‍යවතුන් වහන්සේ, ’’ගෘහපතිය, කාමභෝගී ගිහියා විසින් කලින් කල, අවස්ථාවෙන් අවස්ථාව ලැබියයුතු මේ සැප සතරක් වෙත්. කවර සතරක්ද යත්, අර්ත්‍ථ සුඛය, (ඇති සැපය), භොග සුඛය, (පරිභොග සැපය), අණන සුඛය, (ණය නැති සැපය), අනවජ්ජ සුඛය, (නිවරද සැපය) යන සතරයි.
’’ගෘහපතිය, අර්ත්‍ථ සුඛය කවරේද? ගෘහපතිය, මෙහි කුල පුත්‍රයෙකුට උත්‍ථාන වීර්‍ය්‍යයෙන් සරිකර ගත් බාහු බලයෙන් රැස්කළ ඩහදිය වැගිරවීමෙන් දැහැමින් ලත් ධාර්මිකවූ වස්තුව ඇත්තේද, හෙතෙම උත්‍ථාන වීර්‍ය්‍යයෙන්, බාහු බලයෙන්, ඩහදිය වගුරුවීමෙන්, දැහැමින් ලත් ධාර්මික වස්තුව ඇතැයි සැපක් ලබයි. සොම්නසක් ලබයි. ගෘහපතිය, මේ අර්ත්‍ථ සුඛයයි.
’’ගෘහපතිය, භොග සුඛය කවරේද? ගෘහපතිය, මෙහි කුලපුත්‍ර තෙම උත්‍ථාන වීර්‍ය්‍යයෙන්, බාහු බලයෙන්, ඩහදිය වගුරුවීමෙන්, ධර්මික කර්‍මයන්ගෙන්, දැහැමින් ලත් වස්තුව පරිභොග කරයි. පින්ද කරයි. හෙතෙම උත්‍ථාන වීර්‍ය්‍යයෙන් බාහු බලයෙන්, ඩහදිය වගුරුවීමෙන්, ධාර්මික විධියෙන් දැහැමින් ලත් වස්තුව පරිභොග කරමි, පින්ද කරමියි සැපක් ලබයි. ගෘහපතිය, මේ භොග සුඛයයි කියනු ලැබේ.’’
’’ගෘහපතිය, අණන සුඛය කවරේද, ගෘහපතිය, මේ ලොකයෙහි කුලපුත්‍ර තෙම ස්වල්පයක් හෝ බොහෝ හෝ කිසිවකුට කිසිවක් ණය නැත්තේද, හෙතෙම ස්වල්පයක් හෝ වැඩියක් හෝ කිසිවෙකුට කිසිවක් ණය නැතැයි සැපක් ලබයි. සොම්නසක් ලබයි. ගෘහපතිය, මේ අණන සුඛයයි.’’
’’ගෘහපතිය, අනවජ්ජ සුඛය කවරේද? ගෘහපතිය, මේ ලොකයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම නිවැරදි කාය කර්‍මයෙන් යුක්තවූයේ වේද, නිවැරදි වාක් කර්‍මයෙන් යුක්තවූයේ වේද, නිවැරදි මනො කර්‍මයෙන් යුක්තවූයේ වේද, හෙතෙම නිවැරදි කාය කර්‍මයෙන් යුක්තවූයේ වෙයි. නිවැරදි වාක් කර්‍මයෙන් යුක්තවූයේ වෙයි. නිවැරදි මනො කර්‍මයෙක් යුක්තවූයේ වෙමියි. සැපක් ලබයි. සොම්නසක් ලබයි. ගෘහපතිය, මේ අනවජ්ජ සුඛයයි කියනු ලැබේ. ගෘහපතිය, මේ සතර සැපය කාමභෝගී ගිහියා විසින් කලින් කල, අවස්ථාවෙන් අවස්ථාව ලැබිය යුත්තාහ.’’
’’අනවජ්ජ සුඛය දැන නැවත අර්ත්‍ථ සුඛය සිහි කරන්නේය. භොගය සුවසේ අනුභව කරණ මනුෂ්‍ය තෙම නැවත ප්‍රඥාවෙන් මනාසේ බලයි. නුවණින් බලන්නාවූ ඥානවන්ත පුද්ගල තෙමේ, පළමු සැප තුන අනවජ්ජ සුඛයාගේ සොලොස් කලාවෙන් කලාවටවත් නොඅගීයයි දැනගනියි.’’